නතාශා | Nathasha


"මට එහේ සෙට් නෑ බන්, මං යන්නෙ නෑ."

"උඹට මෙහෙ සෙට් ද?"

"මට මෙහෙත් සෙට් නෑ බන්."


මේ මීට අවුරුදු විස්සකටත් එහා දවසක, නුගේගොඩ ප්‍රසිද්ධ ටියුශන් පන්තියක් වුන රොටරියේ කාර්යාලයේ වෙච්ච දෙබසක්. මේසයේ එක්පසෙක ප්‍රසිද්ධ සිංහල ගුරුවරයෙකු වූ සන්නස්ගල හෙවත් සන්නාත්, අනිත් පස මුහුණ පුරා රැවුල වවනු ලැබූ, උරහිස දක්වා කොන්ඩය වැවූ, බොහීමියානු පෙනුමක් ඇති නමින් පසන් කොඩිකාර නම් තරුණයෙකුත් වාඩිවෙලා හිටියා. 

ඔහු එරමිණිය ගොතාගෙන පුටුවක වාඩි වී, විශාල පොතක් දිගහරිමින්, සන්නා හට පින්තූරයක් පෙන්නනවා. එම පින්තූරයේ සිටින්නේ ඉතාම ලස්සන රුසියානු කෙල්ලෙක්.

"මේ ඉන්නෙ මගෙ රුසියානු පෙම්වතිය නතාශා. ලංකාවට ඇවිත් ඉන්නෙ මාව එක්කන් යන්න."

"ඉතින් උඹ යනවද?"

"මට එහේ සෙට් නෑ බන්, මං යන්නෙ නෑ." ඔහු තවදුරටත් කිව්වා.

"උඹට මෙහෙ සෙට් ද?"

"මට මෙහෙත් සෙට් නෑ බන්."

මේ තමයි කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ලියනගේ ගයන නතාශා ඇවිදින් ගියා ගීතයේ පසුබිම් කතාව. මේ කතාව එදාම සන්නාගෙ අතින් ගීතයක් විදියට ලියවෙනවා.

"නතාෂා ඇවිදින් ගියා...පියාඹා වෙරලින් එහා...

නයිල් ගඟේ ඉවුරේ...ආදම්ගේ උයනේ...

රොන් සලා ඈ ගියා...නතාශා..."

නතාශා රුසියානු බැලරිනාවක්. පසන් කොඩිකාර කියන්නෙ රුසියානු භාශාවෙන් ඇති සාහිත්‍ය කෘති සිංහලට පරිවර්තනය කීරීමේ පුරෝගාමියෙක්. ඒ වගේම, විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්ප්‍රදායෙන් පිටපැනපු මනුස්සයෙක්. ඔහු වසර ගණනාවක් රුසියාවේ අධ්‍යාපනය ලැබුවා. එහෙදි තමයි නතාශාව ඔහුට හමුවෙන්නේ.

නතාශාට ආපහු යන්න වුනෙ බිඳුනු බලාපොරොත්තුත් එක්ක. ඒ වගේම, ඇයට ඊටපස්සෙ මොකද වුනේ කියල කිසිම සඳහනක් හම්බවුනෙත් නෑ. 

අන්තිමට පසන් කොඩිකාර 2015 දී මිය යනවා. 

මේ ඉන්නෙ පසන් කොඩිකාර (අන්තර්ජාලයෙන්)

මේ ගීතය මම සෑහෙන කාලෙක ඉඳන් කැමති ගීතයක්. ඒකට, ඒ ගීතයේ තිබිච්ච වචන වල අමුතු බව සහ සංගීතයත් හේතුවක් වෙන්න ඇති. මට ලොකු උවමනාවක් තිබුනා මේ ගීතයේ තේරුම හොයාගන්න. එහෙම හොයන් යද්දි තමයි අහම්බෙන් සන්නාගෙ භික්ෂු පරිච්චේදය කියවන්නෙ. ඒකෙ තමයි මේ කතාව තිබුනේ.

මූලාශ

  1. Gunasiri Silva - අපේ කලේ පිටස්තරයා
  2. කොළඹ කතාව, භික්ෂු පරිච්චේදය - උපුල් ශාන්ත සන්නස්ගල



Comments

Popular posts from this blog

Henannegala: The Ancient Cave Monastery

My thoughts on the song "Punsanda Reta…"